ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් 2026.02.02 දිනැතිව පළකරන ලද දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය-2026 නැමැති ගැසට් පත්‍රය හා සැබඳේ.
එම ගැසට් පත්‍රය මගින් සුදුසුකම් කැඳවන ලද තරඟ විභාගය සඳහා පුරාවිද්‍යා උපාධිධාරීන්ට අයදුම් කිරීමට අවස්ථාව නොමැතිවීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුවට අදාළව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සාමාජික වන හා පුරාවිද්‍යා උපාධිධාරීන් වන ඔබ දැනුවත් කිරීම සඳහා මෙම පණිවුඩය නිකුත් කරනු ලැබේ.
උක්ත ගැටළුව සම්බන්ධව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව මැදිහත් නොවන බවත් අවැසි ක්‍රියාමාර්ග නොගන්නා බවත් සඳහන් කරමින් හා ගරු සභාපතිවරයාට පවා විවිධ චෝදනා එල්ල කරමින් මුහුණු පොතෙහි ඇතැම් පාර්ශව විසින් විවිධ පෝස්ටු පළ කිරීම හේතුවෙන් සාමාජික ඔබ දැනුවත් කිරීම මෙම පණිවුඩය මගින් අපේක්ෂා කරනු ලැබේ. පුරාවිද්‍යා උපාධිධරයන් විවිධ සමූහවලට පවා බඳවා ගනිමින් හා ඔවුන් තුළ දුර්මත වපුරමින් තම පටු පරමාර්ථ මුදුන්පත් කර ගැනීමේ වෑයමින් යුතුව කටයුතු කරන අයගේ තවත් එක් ක්‍රියාකාරකමක් එසේ සිදු කරන බවට අපට පැහැදිලි වී ඇත.
එබැවින් උක්ත ගැටළුව කෙරෙහි මේ වන විට ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව සක්‍රීය ලෙස දායකත්වය දැක්වූ ආකාරය පිළිබඳව මෙතැන් සිට සංක්ෂිප්ත සටහනක් තබනු ලැබේ.
ඉහත ගැසට් පත්‍රය පළවීමෙන් අනතුරුව ගරු සභාවේ පාලක සභාව විසින් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ගත යුතු වඩාත් සුදුසු ම පියවර පිළිබඳ තීරණවලට එළඹ ඇත.
මෙම ගැටළුව සම්බන්ධව මැදිහත්වීම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව පමණක් නොව පුරාවිද්‍යාව පිළිබඳ උපාධි ප්‍රධානය කරනු ලබන සියලුම විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා අධ්‍යනාංශවල ද වගකීමක් වන බැවින් ඒ පිළිබඳව ගරු සභාපතිවරයාගේ 2026.02.03 දිනැති ලිපිය මගින් එම සියලු අධ්‍යයන අංශාධිපතිවරුන් දැනුවත් කර ඇත.
එමෙන්ම සභාව විසින් 2026.02.06 දින මෙම ගැසට් පත්‍රයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට දිනයක් වෙන් කරගෙන ඇත. එම සාකච්ඡාව 2026.02.09 දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතය.
ඉහත සාකච්ඡාවේදී අප විසින් පහත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු.
1999 වර්ෂයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් පළ කරන ලද චක්‍රලේඛයෙහි පුරාවිද්‍යා විෂය උපාධිධරයන් ගුරු සේවය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන බවට වූ සඳහන වර්තමානයෙහි ප්‍රායෝගික නොවන බව. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට පුරාවිද්‍යා උපාධිධරයන් හිඟවීම නිසා මෙවැනි චක්‍රලේඛයක් පළකළ ද වර්තමානයෙහි එම උපාධිධරයන් බහුතර සංඛ්‍යාවක් සිටින බැවින් එකී චක්‍රලේඛය මගින් ඔවුනට ඇති අවස්ථාවන් අහිමිවීම සිදුවන බව.
පුරාවිද්‍යා උපාධිධරයා ඉතිහාසය විෂය පිළිබඳ ගුරු සේවයෙහි නිරතවීම සඳහා වඩාත් සුදුසු වන්නේ කෙසේද? එසේ වීමට ඉවහල් වන කරුණු මොනවාද හා එමඟින් පාසල් පද්ධතිය හා සිසු ප්‍රජාවට අත්වන ප්රතිලාභ පිළිබඳ ව අවධාරණය කිරීමට මෙහිදී අපේක්ෂා කරනු ලැබේ.
මීට පෙර අවස්ථාවල ද මෙසේම ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වූ තරඟ විභාගවල දී පුරාවිද්‍යා උපාධිධරයන්ට අයදුම් කිරීමට අවස්ථාව නොලැබුණු විට අප සභාව මැදිහත් වී ඒ පිළිබඳ ඉල්ලීම් සිදුකළ අතර එම ගැසට් පත්‍රවල සංශෝධන සිදු කරමින් ඊට අයදුම් කිරීමට හැකියාව ලබාගත හැකි වූ බව.
මේ වනවිට ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව මෙම ගැටළුව නිරාකරණය කිරීම හා යථෝක්ත ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා උපාධිධාරීන් අගතියට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ පිළිබඳව වගකිව යුතු බලධරයන් සමග සුහදව හා විධිමත්ව සාකච්ඡාකොට එම අවස්ථාව ඔබ වෙත ලබාදීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරමු. එමෙන්ම වත්මන් පාලන අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මේ වනවිට මෙම ගැටළුව කෙරෙහි අවධානය යොමුකොට ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ නියෝජිතයින් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව අප වෙත ලබා දී ඇති බව කාරුණිකව ඔබ වෙත දැනුම් දෙමු.
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් උක්ත ගැටළුව සම්බන්ධව මේ දක්වා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ විටින් විට සමාජ මාධ්‍යයෙහි පළකිරීම අත්‍යවශ්‍ය නොවේ. අප සභාවේ සමස්ත සාමාජිකත්වය දහස ඉක්මවා සිටියද එම සියලු සාමාජිකත්වය නියෝජනය කිරීම සඳහා වූ පාලක සභාව 19 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙවැනි ගැටළු පිළිබඳ මැදිහත්ව සක්‍රීයව කටයුතු කිරීම එම පාලක සභාව මගින් සිදු කරනු ලැබේ. අප සභාව වෘත්තිකයන්ගේ සභාවක් මිස වෘත්තීය සභාවක් නොවේ. පුරාවිද්‍යාවට රැකියා අවස්ථා නොමැති බව කියමින් සමාජ මාධ්‍ය තුළ පුන පුනා අදහස් පළකරන අය වෙත දැනුම් දිය යුතු වනුයේ මෙම සභාව රැකියා ලබාදෙන ආයතනයක් නොවන බවයි. එහෙත් සභාවේ වෘත්තිකයන්ට බලපාන ලබන ගැටළුවල දී සභාව සැමවිටම සක්‍රීයව ක්‍රියා කරනු ලබයි. ඒ සමාජ මාධ්‍යයන් තුළ ගැරහීම් සිදුකරන, ස්වකීය පටු පරමාර්ථයන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ දරන ඇතැමුන් සතුටු කිරීමට නොව අප සභාවේ සාමාජිකයන් වන හා පුරාවිද්‍යා උපාධිධාරීන් ද වන ඔබ වෙත යහපත උදාකිරීම උදෙසාය.
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව වශයෙන් අප පුරාවිද්‍යා විෂය හා එහි ගරුත්වය, පුරාවිද්‍යා උපාධිධාරීන් හා සභාවේ සක්‍රීය සාමාජිකත්වය ලැබූ ඔබව විටෙකත් නොසලකා හැරීමක් සිදුකර නොමැත. එබැවින් විවිධ මතධාරීන්ගේ ඊනියා ප්‍රචාරවලට හා අයථා මඟ පෙන්වීම්වලට නොරැවටී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අප සභාව හා එක්ව කටයුතු කිරීමට මෙයින් ඔබ දැනුවත් කර සිටිමු. එමෙන්ම එවැනි ප්රචාරයන්ට නතුවීම තුළ අනාගතයේ දී ඔබ යම් අගතියකට පත්වීමට බෙහෙවින්ම ඉඩ ප්රස්ථා ඇති අතර ඔබට නායකත්වය දෙන අයුරින් පෙනී සිටින එවැනි අය අනාගතයේ ඔබ සමග නොසිටිනු ඇත. එබැවින් ඔබ සාමාජිකත්වය දරන අප සභාව කෙරෙහි විශ්වාසය ඇතුව කටයුතු කරන ලෙස මෙමඟින් කාරුණිකව දන්වා සිටිමු. අතීත උරුමයට හා පුරාවිද්‍යා විෂයට බලපානු ලබන මෙබඳු කාරණාවල දී ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව වඩාත් ශක්තිමත්ව නැගී සිටිය යුතුය. එකී කාර්යයන් කෙරෙහි දායකවීම සඳහා 2026.03.26 දින පවත්වනු ලබන මහ සභාවට එහි සාමාජිකයන් වශයෙන් සහභාගිවීමට ඔබට ආරාධනය කරමු. තවද අළුතින් සභාවේ සාමාජිකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන අයගේ අයදුම්පත් ඉක්මනින් අප වෙත යොමු කිරීමට කටයුතු කරන මෙන් ඔබ හට ආරාධනා කරමු. ස්තුතියි.
මෙයට,
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව වෙනුවෙන්,
සම ලේකම්වරු.