2026.02.02 දින ගැසට් කරන ලද ශ්‍රී ලංකා ගුරුසේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය සම්බන්ධව පැන ඇති ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 2026.02.09 දින ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ ගරු සභාපතිතුමා, සම ලේකම්වරුන්, පාලක සභා සභිකයෙකු සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂතුමා ද සහභාගි වූ අතර, එම සාකච්ඡාව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමග පවත්වන ලදී. මෙහි දී ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන විෂයක් ලෙස පුරාවිද්‍යා විෂය ඇතුළත් නොවීම හේතුවෙන් පුරාවිද්‍යා විශේෂවේදී හා සාමාන්‍යවේදී උපාධිධරයන් වැඩි පිරිසක් අගතියට පවීම හේතුවෙන් එම ගැටළුව විසඳීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මෙහි දී අප විසින් පුරාවිද්‍යා විෂය පාඨමාලාවන්හි ඇතුළත් විෂය ක්ෂේත්රය කොතෙක් දුරට ඉතිහාසය පාසල් විෂය නිර්දේශ හා සමගාමී වන්නේ ද යන්න පිළිබඳවත් ඉතිහාසය පාසල් විෂය නිර්දේශයන්හි ඇතුළත් ඇතැම් කොටස් ඉගැන්වීමට හා විග්රහ කිරීමට පුරාවිද්‍යාඥයෙකුට ඇති ශක්‍යතාව පිළිබඳවත් පෙන්වාදෙන ලදී. එමෙන්ම පාසල් දරුවන් සඳහා ඉතිහාසය විෂය ඉගැන්වීමේ දී විවිධ ක්‍රියාකාරකම් හා ද්‍රෂ්‍ය සාධක භාවිතකරමින් එම කාර්යය වඩාත් හොඳින් පුරාවිද්‍යා උපාධිධරයෙකුට සිදුකළ හැකි බවත් පෙන්වාදීමට කටයුතු කරන ලදී. ඒ සඳහා ඔවුන් ලබා ඇති ප්‍රායෝගික හා ක්ෂේත්රීය පුහුණුවීම් ද ඊට උපකාරී වන බව එහිදී පෙන්වාදෙන ලදී. එමෙන්ම පුරාවිද්‍යා උපාධිධරයන් හට ඉතිහාසය ඉගැන්වීම සඳහා අවස්ථාව ලැබීම තුළ එය පාසල් ක්ෂේත්රයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවට ද වඩාත් ප්රතිලාභ සහගත බැව් අප විසින් එහිදී අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යා කිහිපයක පුරාවිද්‍යා අධ්‍යයන අංශාධිපතිවරුන් විසින් ඉතිහාසය පාසල් විෂය නිර්දේශවල ඇතුළත් විෂය කොටස් හා විශ්වවිද්‍යාවල පුරාවිද්‍යා පාඨමාලාවල ඇතුළත් විෂය කොටස්වල ඇති සමගාමී බව සඳහන්කොට අප සභාව වෙත ලිපි ලේඛන යොමුකොට තිබුණි. එම ලිපි ලේඛන සහ එම අංශාධිපතිවරුන්ගේ අත්සන් සහිතව අධ්‍යාපන ලේකම්තුමා අමතන ලද ලිපියක් ද අප විසින් එහිදී ඉදිරිපත් කරන්නට යෙදුණි. තව ද ඉහත කරුණුවලට සමගාමී කරුණු ඇතුළත්කොට ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් අධ්‍යාපන ලේකම්තුමා අමතන ලද 2026.02.09 දිනැති ලිපිය ද ඒ සමග යොමුකරන ලදී.
එමෙන්ම 1999 වර්ෂයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි සඳහන් කරුණු වර්තමානය කෙරෙහි ප්‍රායෝගික නොවන බව ද අප විසින් පෙන්වාදෙන ලදි. එමෙන්ම පුරාවිද්‍යා විෂය හදාරා නිමකළ උපාධිධාරීන් වැඩි පිරිසක් සඳහා ලැබෙන රැකියා අවස්ථාවන්වල දී මෙම චක්‍රලේඛයෙහි බලපෑම වර්තමානයෙහි සාධාරණ නොවන බව පැහැදිලි කිරීමට අපට හැකි විය. මෙම අවස්ථාවේ දී උක්ත විභාගය සඳහා ඉදිරිපත්වීමට පුරාවිද්‍යා උපාධිධාරීන්ට අවස්ථාව ලැබීම ඔවුනට මහත් ප්‍රතිලාභයක් බවත් අනාගතයේ රැකියා අවස්ථා නොමැතිවීමේ අවදානමක් ඇති බවට සලකමින් විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා විෂය හැදෑරීමට එන සිසුන් අඩුවීමේ ප්‍රවණතාව ද ඉන් අවමවන බවත් එහිදී ප්රත්යක්ෂ කරගත හැකි විය.
ඉහත සාකච්ඡාව තුළ ප්‍රකාශ වූ වැදගත් කරුණු කිහිපයක් සියළු සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා පහත සඳහන් කරමු.
- ඒ අනුව 2026 පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 05 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා වන බඳවා ගැනීමේ (විවෘත) තරඟ විභාගය සඳහා අයදුම් කිරීමට 2025.06.30 දිනට පෙර ස්වකීය උපාධිය සම්පූර්ණ කළ පුරාවිද්‍යා උපාධිධාරීන්ට අවස්ථාව ලැබේ.
- දැනට සීමිත ධාරාව පිළිබඳ ගැසට් කිරීම කෙරෙහි බලපවත්වනු ලබන, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව අදාළ ගැසට් පත්‍රයේ සංශෝධනය කළ හැකි වන්නේ සීමිත ධාරාව තුළ අයදුම් කළ හැකි වයස් සීමාව පිළිබඳ කොටස පමණි. එබැවින් එහිදී පුරාවිද්‍යා උපාධිධරයන් සඳහා අයදුම් කිරීමේ අවස්ථාව මෙවර ලබාගැනීම සිදුකළ නොහැකි බවට අපව දනුවත්කරන ලදි. ඒ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ඉක්මවා කටයුතු කළ නොහැකි බැවිනි.
- එහෙත් සීමිත ධාරාව සඳහා දැනට පළකර ඇති ගැසට් පත්‍රයෙහි නම සදහන් වන විෂයක ඇතුළත් විෂය කරුණුවලින් තුනෙන් එකක් තවත් විෂයක් මඟින් ආවරණය වෙයිනම් එම මුල් විෂයට අයත් පුරප්පාඩු සඳහා ඉල්ලුම් කළ හැකියි. ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද අප වෙත දන්වන ලදි.
- යථෝක්ථ ගැසට් පත්‍රය මඟින් අයදුම්පත් කැඳවන ලද ගුරු සේවයේ පුරප්පාඩුවලට අමතරව තවදුරටත් පවතින ඉතිරි පුරප්පාඩු සඳහා කැබිනට් අනුමැතියක් සහිතව ගරු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමකට යටත්ව දැනට රාජ්‍ය සේවයේ නිරතවන පුරාවිද්‍යා උපාධිධාරීන්හට සීමිත ධාරාව යටතේ අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවට එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අපව දැනුවත් කරන ලදි.
ඉහත තොරතුරු ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සාමාජිකත්වය දරන හා පුරාවිද්‍යා උපාධිධාරීන් වන ඔබ දැනුවත් කිරීම සඳහා කාරුණිකව නිවේදනය කරමු.
පුරාවිද්‍යාඥ එම්.ඩී. කලණ මාරසිංහ පුරාවිද්‍යාඥ සුජාතා පෙරේරා
සම ලේකම් සම ලේකම්
ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව.